මාමඩුව

මාමඩුව

මාමඩුව දකුණු කිලක්කුමලෙයි පත්තුවට අයත් වෙයි. මෙහි පවතින පැරණි වැව ක්‍රි.ව.2-3 සියවස්වලට අයත් යැයි සැලකෙයි. සැතපුම් එකහමාරක් පමණ දිග මෙම වැව් කණ්ඩිය මත පුවරු ලිපියක් දක්නට ලැබෙන අතර මෙය “මහින්දතලාක වැව” ලෙස සඳහන්කර ඇත. එමෙන්ම මෙහි පළවැනි පරාක්‍රමබාහු රජු විසින් ප්‍රතිසංස්කරණය කළ බවද සඳහන් වේ. මාමඩුව කඩමණ්ඩියෙන් හමු වූ ලිපියක පස්වන කාශ්‍යප රජුගේ ලේඛනයක් සටහන්කර ඇත. ආසන්නයේ ඇති තේක්ක වත්තක මෙගලිතික සුසානයක නටබුන් ඇත. එම සුසාන භූමිය ප්‍රථමවරට එම්.එච්. සිරිසෝම මහතා විසින් 1976 දී අනාවරණය කර ගන්නා ලදි. මූලික ගවේෂණවලදී ආකාර දෙකක සුසාන භූමි අනාවරණය කරගත හැකි විය. පොළව මතුපිට කළු,රතු මැටි බඳුන් විසිරී පැවති බවත් , මිනී ඇටකටු සහ මිනී අළු තැම්පත්කර තිබූ භරණි හමුවූ බවත් වාර්තාවෙයි.

මූලාශ්‍ර - පෞරාණික ස්ථාන සහ ස්මාරක - වව්නියාව දිස්ත්‍රික්කය