මඩුකන්ද

මඩුකන්ද

මඩුකන්ද වව්නියා - කැබිතිගොල්ලෑව මාර්ගයේ 3වන සැතපුම් කණුව අසල පිහිටි ස්ථානයකි. සැතපුම් දෙකක් දිග වාරි ඇළක් ගම් ප්‍රදේශය හරහා දිවෙයි. බෞද්ධාරාමයක නටබුන් විසිරී පවතින ප්‍රදේශයකි. දළදාවහන්සේ දඹදිව සිට වැඩම කරවන අවස්ථාවේ තාවකාලිකව තැන්පත්කර තිබූ විහාරයක් ලෙස සැලකෙයි. රවුම් වලක් කපන ලද ගල්පුවරුව දළදා කරඬුව තැම්පත්කර තිබූ ස්ථානය ලෙස සිතිය හැකිය. 1890 දී මේ ස්ථානය සොයාගන්නා ලදි. හිඳි පිළිමයක් සහිත ප්‍රතිමා ගෘහයක්, ගල් කුළුණු, පොකුණක්, මකර තොරණ හා කටාරම් සහිත ලිපි සඳහන්ව ඇති ලෙන් මෙහි හඳුනාගත හැකිය.

දළදා වහන්සේ වැඩසිටි ගොඩනැගිල්ල අඩි 20 x 15 පමණ විශාල වන අතර ගල් කුළුණු, පියගැට පෙළ, සඳකඩපහණ ශේෂව පවතී. සඳකඩ පහණෙහි කිසිදු කැටයමක් දක්නට නැත. මේ ස්ථානයේ පිහිටි රුවන්මඩුව නමින් හඳුන්වන තවත් ගොඩනැගිල්ලක පඩිපේළි හා කොරවක්ගල අලංකාර කැටයමින් යුතුවෙයි. මුරගල පුන්කළස සහ නාරජ රූපය සහිතව නෙළා ඇත.

කොරවග්ගලෙහි නාට‍්‍යාංගනාවන් නිරූපිතය. අත් හතරක් සහිත නළඟනක් හා තාලම්කරුවකු කැටයම්කර තිබේ. ප්‍රථමවරට මෙම ස්ථානය අනාවරණය කරගනු ලබන්නේ 1976 දී එම්. එච්. සිරිසෝම මහතා විසිනි. තෝනිගල ශිලාලිපියේ දැක්වෙන “කඩුබලගම” මෙම මඩුකන්ද ප්‍රදේශය බවත් “යහිසපවත විහර” මඩුකන්දේ දළදා විහාරය බවත් අනුමාන කළ හැකිය. 1978 දී ලංකාවට වැඩම කරන ලද කපිලවස්තු ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා මඩුකන්ද විහාරයේ දී ප්‍රදර්ශනය කළ බවට වාර්තාවේ.

මූලාශ්‍ර - පෞරාණික ස්ථාන සහ ස්මාරක - වව්නියාව දිස්ත්‍රික්කය