නල්ලූර් කන්දස්වාමී හින්දු කෝවිල

නල්ලූර් කන්දස්වාමී හින්දු කෝවිල

යාපන නගරයට ඉතා සමීපව යාපනය පේදුරුතුඩුව මාර්ගයේ පිහිටා තිබේ. යාපනයේ විවිධාකාර ඓතිහාසික ස්ථාන අතර නල්ලූර් හින්දු කෝවිල විශේෂ වන්නේ එහි ඇති ආගමික හා සංස්කෘතික වැදගත්කම නිසා ය. මෙය හින්දු සංස්කෘතියේ නළල්පට සේ සැලකෙන අතර ලක්දිව ශිව ආගමේ ප්‍රාණ නාලිකාව සේ ද පිළිගැනේ. ක්‍රි. ව.15 වන සියවසේ දී 6 වන බුවනෙකබාහු රජු විසින් මුල්වරට කරවා කතරගම දෙවිඳුන් කහවත් කන්දස්වාමි දෙවි නමට පූජා කළ බව සඳහන් වන මෙම කෝවිල ඉතිහාසය පුරා විවිධ අභියෝගවලට මුහුණ දෙමින් අද දක්වාත් නැගී සිටී. මෙය ජාතීන් අතර සුහදතාව වර්ධනය කරන ස්ථානයක් ලෙස ද සැලකේ. 6 වන බුවනෙකබාහු යනු 6 වන පැරකුම්බා රජු විසින් පුත්‍රස්ථානයේ හදාවාඩා ගත් චෙම්බග පෙරුමාල් හෙවත් අරිය වෙට්ටෙයියදුම් පෙරුමාල් නමැති කුමාරයෙකි. හේ යාපනයේ හින්දු කෝවිල් මෙන්ම ලංකාවේ බෞද්ධ විහාරස්ථාන ද ඉදිකර තිබේ. කෙසේ වුව ද යාපනයේ ඔහු කරවූ මුල් නල්ලූර් කෝවිල දැනට නොමැති අතර දැනට ඇත්තේ පසුකාලීන ඉදිකිරීමක් බව ද පැවසේ.

කෝවිල් භූමිය ඉතා සිත්ගන්නාසුලු විවෘත වටපිටාවකින් යුක්ත වන අතර අභ්‍යන්තරය ද ඉතා දර්ශනීය වේ. සිතෙහි ඇති විවිධ සංකීර්ණ සිතුවිලිවලින් බැතිමතුන් මුදා සරල හා සැහැල්ලු ආධ්‍යාත්මික සුවයක් දෙන දසුන් හා නාදයන් ඒ තුළ වේ. හින්දු ආගමට ආවේණික ක්‍රම ඇසුරෙන් මිනිස් සිත් සුවපත්කරන ගුණය එහි රැඳී තිබේ. විවිධ සමාජ අසමානතා මේ තුළ දී දුරුව යයි. මේ නිසා මෙම හින්දු කෝවිල සියලු ආගමිකයන්ගේ පූජාවට, ගෞරවාදරයට පාත්‍ර වී ඇත.