කදුරුගොඩ විහාරය

කදුරුගොඩ විහාරය

යාපනය නගරයේ සිට කිලෝමීටර 10 ක් පමණ මනිපායි දෙසට ගමන්කරන විට කදුරුගොඩ විහාරය හමුවේ. මෙය දමිළ බසින් කන්දරෝඩෙයි නමින් හැඳින්වේ. මෙහි අක්කර භාගයක පමණ වපසරියක් තුළ කුඩා දාගැබ් 61 ක් පමණ දක්නට ලැබේ. මෙය ජාවා ආභාසය ඇතිව කළ නිර්මාණයක්දැයි සැකයක් ද පවතී. මේ දාගැබ් පිළිබඳ මුල්වරට තොරතුරු ගවේශණය කළ පෝල් ඊ. පීරිස් දැරණියගල මහතාගේ මතයට අනුව මෙම දාගැබ් අදින් වර්ෂ 2000කට පමණ පෙර ඉදිකර ඇත . දෙදහස් වසරකට පෙර යාපන අර්ධද්වීපයේ භාවනා ප්‍රගුණ කරමින් සහ ධර්මය වනපොත් කරමින් සිටිය දී දුර්භික්ෂ තත්වයක් නිසා අපවත් වූ රහතන්වහන්සේලා 60 කට අධික සංඛ්‍යාවකගේ ධාතූන්වහන්සේලා මෙහි තැන්පත් කර ඇතැයි පිළිගැනේ. එම ධාතු තැන්පත් කළ දාගැබ් ඉදිකරන්නට ඇත්තේ යාපන අර්ධද්වීපයේ විසූ බෞද්ධ ප්‍රභූවරුන් විසින් යැයි ද පිළිගැනීමක් ඇත . බුද්ධ සහ බෝධිසත්ව ප්‍රතිමා ද ශිලා ලේඛන හා කාසි ද මෙම ස්ථානයේ පුරාවිද්‍යා කැණිම්වලදී හමුවී ඇත . ඒවා දැනට යාපනය පුරාවිද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.