මොනාලීසා .

      මොනාලිසා චිත්‍රයෙන් නිරූපණය වන්නේ කාන්තා උඩුකය හෙවත් ආලේඛ්‍ය චිත්‍රයකි(Portrait). සෙන්ටිමීටර් 77X53 ප්‍රමාණයේ කැන්වසයක් මත තෙල් සායම් මාධ්‍ය භාවිතා කර ඩාවින්චි විසින් මෙම සිතුවම නිර්මාණය කර ඇත.

      වසාරි නැමැති කලා විචාරකයාගේ වාර්තා වලට අනුව මොනාලිසා යනු ප්ලෝරන්ස් නරගයේ ප්‍රභූවරයෙකු වූ ෆැන්සිස්කෝ ජියෝකොන්ඩාගේ තෙවැනි බිරිදයි. ඩාවින්චි ඇය තමන්ගේ ඉදිරියෙහි හිඳුවාගෙන මෙම ප්‍රතිරූපය ඇඳ ඇති බවට විචාරක මතයයි. සඳළුතලයේ සිට අඳිනු ලැබූ නිසා චිත්‍රයේ පසුබිම ඈතට විහිදී ගිය ගම්මානයක දර්ශනයක් දැක්වේ. ලිලියන් ස්ටාර්ට්ස් නැමැති පර්යේෂකවරිය මොනාලිසා සිතුවමේ ඇති මුහුණ ඩාවින්චිගේ මුහුණට සමානකම් දක්වන බවට අදහස් පළ කර ඇත. ලාජියෝ කොන්ඩාගේ (මොනාලිසාගේ) මුහුණින් එකවර දුක හා සතුට ඉස්මතු කොට දැක්වීමට ශිල්පියා උත්සහා ගෙන ඇති ආකාරය ලොව මවිතකර විය.

     චිත්‍රය නරඹන රසිකයාගේ චිත්තවේග හා මානසික තත්ත්වයන් වෙනස්වන විට මොනාලිසා ද සතුටින් හෝ දුකින් පෙළෙන අයුරකින් රසිකයාට ප්‍රදර්ශනය වේ. කහ, දුඹුරු, ගුරු, තද අඳුරු කොළ ආදී සීමිත වර්ණ මාලාවක් තෝරාගෙන යොදා ගෙන අඳිනු ලැබූ චිත්‍රයේ එළිය අඳුර දැක්වීම සුවිශේෂී ශිල්පීය දක්ෂතා විද්‍යාමාන කරවයි. මුහුණට හා අත්වලට වැටුනු තද ආලෝකය හා අවට පරිසරය ට වැටුණු තද අඳුර තුළින් මානව රූපය ඉස්මතු කර දක්වා ඇත. මොනාලිසාගේ මුහුණ සියුම් සිනිඳු දුහුල් සළුවකින් ආවරණය වී ඇති බව විචාරක මතයයි.

     හැඟිම්බර අද්විතීය මෙම කලා කෘතිය දැනට පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ තැම්පත් කොට ඇත.
රූපය බලමු.
මෙනුවට.