අවසාන රාත්‍රී භෝජන සංග්‍රහය.(The Last Supper).

        ඉතාලියේ මිලනෝ නගරයේ ශාන්ත මරියා ඩෙලා ග්‍රේසි (St. Meris Delladrzie) නමැති කන්‍යාරාම ගොඩනැගිල්ලේ බිත්තියක ඩාවින්චි විසින් චිත්‍රණය කළ අග්‍රගන්‍ය බිතු සිතුවමකි.ක්‍රි.ව.1495 ත් 97 ත් අතර කාලයේදී මෙම චිත්‍රය නිර්මාණය කරන ලද බව සඳහන් වේ.අඩි 29 ක් දිග අඩි 13.5 ක් පළලින් යුතු මෙම චිත්‍රය පොළව මට්ටමේ සිට අඩි 15ක් පමණ ඉහළින් ඇඳ ඇත. සිතුවමින් නිරූපණය වන්නේ ක්‍රිස්තුස් වහන්සේ තම අනුගාමිකයින් දොළොස් දෙනා සමඟ රාත්‍රී භෝජනය ගන්නා අවස්ථාවේ උන් වහන්සේගේ මුවින් පිට වූ වදනක් හේතු කොට ගෙන පිරිස තුළ වූ කැළඹිලි ස්වභාවයයි.‘නුඹලාගෙන් කෙනෙක් මා කෙරහී ද්‍රෝහීව පාවා දෙන්නේය' යන්න උන් වහන්සේගේ මුවින් පිටවූ විට ඉන් කළබලයටත් පුදුමයටත් පත් වූ පිරිස තුළ ඇතිවූ මානසික කැළඹීම ඔවුන්ගේ ඉරියව් වලින් හා අංගචලන තුළින් ප්‍රකාශ කිරීම ඩාවින්චිගේ මූලික අදහස වී ඇත.

        ඉතාලියේ පැවති සාම්ප්‍රදායික සම්මත ප්‍රෙස්කෝ ක්‍රමය සමඟ ටෙම්පරා(=වියළි තලය මත චිත්‍ර ඇඳීම) හා තෙල් සායම් මාධ්‍ය මිශ්‍රව යෙදීම අත්හදා බැලීමක් වශයෙන් ඩාවින්චි මෙම චිත්‍රයට වර්ණ යෙදූ බවට අදහස් පළ වී ඇත. කෙසේ නමුත් භාවිත කළ වර්ණ මාධ්‍යය හා ශිල්ප ක්‍රමයේ අසාර්ථකත්වය නිසා ක්‍රි.ව.1517 වන විට එනම් චිත්‍රය නිම වීමෙන් වසර විස්සකට පමණ පසු සිතුවම විනාශ වීමේ ලකුණු පහළ වී ඇත.

        චිත්‍ර තලයට සරළ සමාන්තරව පිහිටි මේසය මත ගොණු වූ මානව රූප දහ තුනකින්(13) යුක්ත වේ.තිදෙනා බැගින් රචනා වූ රූප කාණ්ඩ හතරකට(4) මැදි වූ ක්‍රිස්තුස් වහන්සේගේ රූපය චිත්‍රයේ කේන්ද්‍රස්ථානය හිමි කර ගනියි. (ඡයාරූපය අධ්‍යයනය කරමින් අවබෝධ කර ගන්න. ඡායාරූපය නැරඹීම සඳහා වම් පස ඇති බටනය මතට මවුසය ගෙන යන්න)රූප මෙසේ කාණ්ඩ වුවද චිත්‍රයේ ඒකාබද්ධතාව රැකෙන අයුරින් සකස් වීම විශේෂ ලක්ෂණයකි. තවද චිත්‍රයේ පසුතලය එහි ප්‍රකාශන ගුණය තීව්‍ර වන අයුරින් යොදාගෙන ඇත්තේ ඒක ලක්ෂීය පර්යාවලෝකනය(මධ්‍ය ලක්ෂීය අන්තර්දහන පර්යාවලොකය) භාවිත කිරීමෙනි.චිත්‍රය සෑහෙන ඉඩක් ශාලාවේ ඇතුළත දර්ශනය සඳහා යොදාගෙන ඇති අතර වියන්තලය සඳහා යෙදූ රේඛා සැලැස්ම බිත්ති කපොලු ආශ්‍රිත රේඛා චිත්‍රයේ පෙර බිම සිට ඈතට විහිදී යමින් ක්‍රිස්තූස් වහන්සේගේ හිස පිටුපසින් අවසාන වන අයුරින් චිත්‍රයේ මධ්‍යගත අන්තරදහන ලක්ෂය (Vanishing Point) හා සම්බන්ධ වෙයි.රේඛාවේ මෙවැනි හැසිරීම නිසා චිත්‍රය නරඹන්නාගේ දෘෂ්ටිය නිරායාසයෙන් ම ගමන් කරන්නේ කේන්ද්‍රස්ථානයේ සිටින ක්‍රිස්තූස් වහන්සේ වෙත යොමු වෙයි.

        ශ්‍රාවකයින්ගේ කැළඹිලි බව ක්‍රිස්තුස් වහන්සේගේ නිසල බව ශාලාවේ එක් පැත්තක ආලෝකමත් බව ද අනෙක් පැත්තේ අඳුරු බව ද දක්වා ඇත්තේ චිත්‍රයේ තේමාව අර්ථවත් කිරීමටය.එසේම පාවා දෙන ජුදාස්ගේ හා සෙසු පිරිසගේ මුහුණු හා ඉරියව් තුළ ඇති භාව ප්‍රකාශනය ශිල්පීය දක්ෂතා මැනවින් නිරූපණය කරයි.ඩාවින්චි මෙම සිතුවම නිර්මාණය කිරීමේ දී ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ ශිල්පියාගේ සමකාලීන ගත් කතුවරයෙකු වූ බැන්ඩෙලා(Bandella) තැබූ සටහනක මෙසේ වෙයි.උදෑසනම පලංචියට නගින ඩාවින්චි එක දිගටම ඇඳීමේ කාර්යයේ යෙදේ.කෑම බීම ගැනීම පවා අමතක කරමින් අඳුර වැටෙන තෙක් සිතුවම් කිරීමේ කාර්යෙහි යෙදෙන ඔහු නැවත දින කිහිපයක් ගත වන තුරු චිත්‍රයේ කිසිදු වැඩක නොයෙදේ.එහෙත් දින පතා එහි පැමිණ පැය කිහිපයක් චිත්‍රය දෙස විමසිල්ලෙන් බලා සිටිමින් රූප වල ස්වභාවය අධ්‍යයනය කිරීමට පුරුදු වී සිටියේය. ඒ අයුරින් වර්ෂ ගනනාවක් පුරා වෙහෙස වී ඇඳි සිතුවම ලොව මවිත කරවන නිර්මානයක් බවට පත් විය.සිතුවම රචනා කිරීමට භාවිත කළ ශිල්ප ක්‍රම හා උපායන් හා කලා සිද්ධාන්ත භාවිත කිරීමෙන් පැහැදිලි වන්නේ ශිල්පියෙකු සතු විද්‍යාත්මක චිනතනයේ මහිමයත් ඒ හා සියුම් ලෙස සංයෝග වූ සෞන්දර්ය රසඥතාවත්ය.
රූපය බලමු.
මෙනුවට.