ලෙයෝනාදෝ දා වින්සි / ලියනාඩෝ ඩාවින්චි / ලෙයෝනාඩෝ ඩා වින්චි .

       1452 අප්‍රේල් මස ෆ්ලෝරන්ස් නගරයේ ටස්කන් හිදී උපන්නේ ය. ප්‍රභූ පවුලක සාමාජිකයෙකු වු පිසාරෝ ඇන්ටෝනියෝ හා ගොවි පවුලකින් පැවත ආ කැතරිනා නම් කාන්තාව, ඔහුගේ පියා හා මව විය. කුඩාකල සිට ම මනබඳනා දේහ විලාසයකින් යුක්ත වූ හෙතෙම සෙස්සන්ට වඩා උසස් මානව ගුණ වලින් ද යුක්ත විය. ෆ්ලෝරන්ස් හි වීථී සංචාරය කරද්දී ඔහු වඩාත් ප්‍රිය කළේ සිරගත කළ සතුන් නිදහස් කිරීමට ය. මුදල් දී එම සතුන් ලබා ගත් හෙතෙම උන්ට නිදහස ලබා දුන්නේ ය. තමා හැදී වැඩුණු පරිසරයේ නිතර නෙත ගැටුණු යම් යම් දේ වැඩි වැඩියෙන් අධ්‍යයනය කළ ඩාවින්චි නව අත්හදා බැලීම් ද කළේ ය. සත්ත්ව රූප අතරින් ඔහු වඩාත් ප්‍රිය කළේ අශ්වයාට ය. එහෙත් සොබාදහමේ සෙසු බොහෝ දෑ ඔහුගේ විමසුම් ඇසට ලක් විය. සිය පුත්‍රයාගේ මේ විමර්ශනශීලිත්වය කෙරේ පියා දැක් වු ධනාත්මක ආකල්පය ද පසු කාලයේ දී මහා කලාකරුවෙකු බිහිවීමට මූලික හේතුවක් විය.

        1465 දී ෆ්ලෝරන්ස්සයේ පදිංචි වූ පසු ගණිතය, චිත්‍රකලාව, සංගීතය වැනි විෂයන් වැඩි වශයෙන් ඉගෙනීමට උනන්දුවක් දැක්විය. කලාව හා මුහුවුණු තාක්ෂණයේ මුල් පදනම එතැන විය. ඩාවින්චිගේ ජීවිත කතාව රචනා කළ වසාරි, ඩාවින්චිගේ අධ්‍යයනශීලිත්වය පිළිබඳ කදිම උදාහරණයක් දක්වයි. සිය පියා යටතේ සේවය කළ ගොවියෙකුගේ පලිසක මුහුණතේ මකර රුවක් සිත්තම් කිරීමට ඩාවින්චිට සිත් විය. හෙතෙම ගොවියාගේ පලිස සිය කුටියට රැගෙන ගොස් එහි සිත්තම් කිරීම ඇරඹීය. එහෙත් හිතු මනාපේ මකර රුවක් ඇඳීමට ඔහු ප්‍රිය නොකළේ ය. ලොකු කුඩා කටුස්සන්, පළඟැටියන්, සර්පයන්, සමනලයන්, තණකොළපෙත්තන්, වවුලන් වැනි සතුන් සිය කුටියට රැගෙන ගිය ඩාවින්චි එම සතුන්ගේ විවිධ ශරීරාංග ගැඹුරින් අධ්‍යයනය කර පසුව මකර රුව සිත්තම් කළේ ය. සිය පුරෝගාමීන්ගේ සිත්තම් අනුකරණය කරමින් ඒ අනුව ම සිතන්නට පෙළඹෙන ආධුනික ශිල්පීන්ට මේ කදිම ආදර්ශයකි. සිය පුත්‍රයාගේ මේ උසස් විමර්ශනශිලි ගුණයක් ඔහුගේ හැකියාවත් දුටු ඔහුගේ පියා එකල ෆ්ලෝරන්සයේ සිටි උසස් ම චිත්‍ර කලා ගුරුවරයා වූ වෙරෝචියෝ වෙත සිය පුත්‍රයා භාර කළේය. සංගීතය මූර්ති ශිල්පය හා විවිධ අත්කම් නිර්මාණයෙහි ද අතිරේක හැකියාවන් සහිතව සිටි වෙරෝචියෝ නම් ශිල්පියා යටතේ පුරා වසර4ක් චිත්‍ර ශිල්පය හදාළ දාවින්සි, වෙරෝචියෝ මෙන්ම චිත්‍ර ශිල්පයෙන් ඔබ්බට තවත් කලා ඉසවු සොයා ගියේය. ‘අසු හා අසරුවා‘ නමැති සිත්තම ඩාවින්චි අතින් බිහිවන්නේ ඉහතින් කියැවුණු යුගයට ආසන්න කාලයක දී ය. මෙය ඔහු අතින් බිහිවුණු උසස් කෘතියක් සේ විචාරකයෝ පිළිගනිති. අශ්වයා කෙරේ ඩාවින්චි දැක් වු ඇල්මත් අශ්වයා පිළිබඳ ඔහු සිදුකළ ගැඹුරු අධ්‍යයනයත් මේ නිර්මාණයේ උපරිම සාර්ථකත්වයට හේතු විය. යම් නිර්මාණයක උපරිම උසස් ඵලය නෙළන්නට නම් ගැඹුරු අධ්‍යයනයක් අත්‍යවශ්‍ය බව මේ ඔස්සේ වටහා ගත යුතුය. අශ්වයාගේත්, අශ්වයා පිට සිටිනා අසරුවාගේත් ඇති රිද්මය අවබෝධකර ගනිමින් සිතුවම නිර්මාණය කළ නිසා ඩාවින්චි මුල් කාලයේ සිට ම ප්‍රමුඛයන් අතර වැජඹුණේය. ඩාවින්චි සතුවූ විශේෂ හැකියාවක් සමග ගණිතය, ඉංජිනේරු ශිල්පය, සංගීතය වැනි විවිධ අංශ ඔස්සේ විහිද ගිය බුද්ධිය ද මුහුවීමෙන් අග්‍රගණ්‍ය නිර්මාණ බිහි වූ අතර තවත් විටෙක ඔහු ඇඳි සැලසුම් සටහන් පසුකාලීනව සුවිශේෂි නිර්මාණයන්ට පාදක විය. ඩාවින්චි දක්ෂතා දැක්වූයේ චිත්‍ර ශිල්පයට පමණක් නොවේ යන්න සනාථ කිරීමට මේ දළසටහන් ම ප්‍රමාණවත් ය. ඔහු මූර්ති ශිල්පියෙකි, ගෘහ නිර්මාණ ශිල්පියෙකි, නිෂ්පාදකයෙකි, කාය - විච්ඡේද විද්‍යාඥයෙකි, සොබාදහම පිළිබඳ විද්‍යාඥයෙකි, සංගීතඥයෙකි, දේශ සංචාරකයෙකි, දාර්ශනිකයෙකි. මූර්ති ශිල්පියෙකු වශයෙන් ඩාවින්චි කළ නිර්මාණ පිළිබඳ අසන්නට හෝ දකින්නට නැතත් කියවන්නට යමක් තිබේ. ඔහු මූර්ති කලාව පිළිබඳව අවබෝධයෙන් යුතුව යුතුව සිටි බව ඔහුගේ සටහන් පොතෙන් පෙනෙයි.

        ගෘහ නිර්මාණ ශිල්පියෙකු වශයෙන් ඔහු කළ රචනා සමහරක් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ සුරැකිව ඇතැයි කියැවේ. සෆොසා ආදිපාදවරයාගේ මන්දිරයේ ගෘහ නිර්මාණ උපදේශකයෙකු ලෙස ද හෙතෙම කටයුතු කර ඇත. නූතන යුධ ටැංකිය, ගුවන්යානය, හෙලිකොප්ටරය, පැරිෂුටය ආදියේ මුල් සටහන් ඩාවින්චි විසින් කර ඇත. ඩාවින්චි දාර්ශනිකයෙක් විය. වරක් ඔහු මෙසේ කීහ.

        ‘මිනිසාට බොහෝ කතාකළ හැක. එහෙත් ඔහු වැඩිමනත්ම කියන්නේ මුසාවන් ය. ඒවායේ වටිනාකමක් නැත. තිරිසන් සතුන්ට ඇත්තේ කතා ටිකකි. එහෙත් මුසාවක් නැත. වැඩ දායකය. ලොකු බොරුවකට වඩා ස්වල්පයක් වුව ද සත්‍යය වටී.‘ වරක් ඔහු ලියු කුඩා උපමා කතාවක මෙසේ වෙයි.

        ‘වරක් පුද්ගලයෙකු අතින් ගිලිහී ගිය දැලි පිහියක් එහි කොපුවෙන් ද ගැලවී ගියේ ය. හිරුඑළිය වැදී දිලිසුණ එය තමා ගැනම මෙසේ සිතුවේය. මම කිසියම් තැනෙකින් මිදී ආවෙමි. යළි එහි නොයෙමි . මෙතරම් ශෝභාවක් දිදුලන සිරුරක් හිමි මා ගම්බද මිනිසුන් ගේ සබන් පෙන රැඳුණු රැවුළු බෑමට යායුතු ද? එතරම් පහත් කාර්යයක නිරත විය යුතුද ? නැත එය නූගත් කමකි. ටිකකලක් සැඟවී සිටිමි. පසුව පිටතට එමි . මෙසේ මඳ කලක් සැඟවී සිට දැලි පිහිය පසුව පිටතට ආයේය. තමා දෙස බැලූයේය. තමා දැන් භාවිතයෙන් ඉවත ලන කබල් කියතකට සම යැයි ඔහු දුටුයේය. තමාගේ හිතුවක්කාර මුරණ්ඩු උද්දච්ච භාවය පිළිබඳ තමාටම දොස් පවරා ගත්තේය. ‘අහෝ ... කරණවෑමියා වෙත සේවය කළේ නම් මුවත ඔප්නැංවී බබලන සිරුර දිගටම රැකගන්නට තිබුණි . දැන් මා තුළ කිසිදූ දීප්තියක් නැත. කාන්තිය සැඟව ගොසිනි. පීඩාකාරී මලකඩ පමණක් ඉතිරිව ඇත. එය සිරුරම ගිලගෙන ඇත. ( භාග්‍යය නොමැතිව කම්මැලිව සිටින්නා ද එසේ මෝඩකම නමැති මලකඩින් නෑසෙන්නේය.) ඩාවින්චිගේ දාර්ශනික භාවය මේ තුළින් පැහැදිලි වෙයි.

මෙනුවට.